ගොසිප්

උතුරේ සිංහල ඉඩම් යළිත් අනතුරේ!

උතුරේ වෙසෙන සිංහල ජනතාව දෙස උතුරු පළාත් සභාව සැමවිටම බැලුවේ කෝපයෙන් හා වෛරයෙනි. උතුරේ පන්සලක කඨින පෙරහැරක්‌ පැවත්වුවද එය බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙස පෙන්වීමට කොටි හිතවාදී මාධ්‍යවේදීහූ අදත් කටයුතු කරති. මේ රටේ වෙසෙන පුරවැසියන්ට දිවයිනේ ඕනෑම ස්‌ථානයක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු නොවන්නේනම් එය බරපතළ ප්‍රශ්නයකි. උපන් බිමේ සිංහලයන් අනාථවීමේ තත්ත්වයක්‌ උදාවී ඇති බව පැහැදිලි වන්නේ උතුරින් ලැබෙන මෙවන් ප්‍රවෘත්තියක්‌ නිසාය.

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ නයාරු සිට කෝකිලායි දක්‌වාත් වව්නියාවේ බෝගස්‌වැවේ සිට වැලිඔය දක්‌වාත් මහවැලිය යටතේ සිංහල වැසියන්ට ලබාදී ඇති සියලු ඉඩම් අහිමි වී යන තත්ත්වයක්‌ උදා වී ඇති බව මේ භයානක ප්‍රවෘත්තිය විය. උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මුලතිව් දිසාපතිවරිය අමතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සන්ධානයේ සියලු දෙනා මේ ඉඩම් ලබාදීමට විරුද්ධ බවයි. දැන් උතුරේ සිංහලයන්ගේ අනාගතය තීරණය කරන්නේ දෙමළ සන්ධානයද? මුලතිව් හි වෙසෙන සිංහලයන්ට සිය පාරම්පරික භූමි අයිතිය අහිමි වන තෙක්‌ ජනපතිවරයා හා අගමැතිවරයා නිහඬව බලා සිටින්නේද? එදා ප්‍රභාකරන් යුද්ධ කරන සමයේදීත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් ගම්මානවල සිංහල වැසියෝ ජීවත්වූහ. එසේ නම් ප්‍රභාකරන්ටත් වඩා උග්‍ර සිංහල විරෝධයකින් උතුරු පළාත් සභාව කටයුතු කරන බව පෙනේ.

උතුරේ සිංහල වැසියන්ට මහවැලිය යටතේ ඉඩම් ලබාදීම අනුමතව ඇත්තේ මීට වසර තිහකට පෙර එනම් 1988 දීය. දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දුන්නේ උතුරින් මෙසේ සිංහලයන් එළවා දැමීමේ කූට අරමුණු සපල කර ගැනීමටද?

වැලිඔය සිංහල ජනතාවට තම ඉඩකඩම්වල අයිතිය අහිමි වුවහොත් ඔවුනට කාගේ පිහිටක්‌ද? මෙය රට යළි අර්බුදයකට ඇද දැමීමකි. උතුරේ සිංහල ඉඩම් අයිතිය අහෝසි කිරීමට උතුරු පළාත් සභාවට විශේෂ බලයක්‌ පවරාදී නැත. හමුදාව උතුරේ ඉඩම් බලෙන් අල්ලාගෙන සිටිනවා යෑයි කෑ ගසන දෙමළ සන්ධානය අනෙක්‌ පැත්තෙන් උත්සාහ කරන්නේ සිංහල ඉඩම් අයිතියද ශූන්‍ය කර දැමීමටය

උපන් බිමේ අනාථයන් වන්නට උතුරේ සිංහල ජනතාවට ඉඩ ලබාදිය යුතු නැත. දෙමළ සන්ධානය හමුදා කඳවුරු ඉදිරිපිටම පැමිණ උද්ඝෝෂණ කරන විට කොළඹ ආණ්‌ඩුව කලබලයට පත්වේ. එහෙත් උතුරේ සිංහලයන්ට ඉඩම් අයිතිය අහෝසි වන විට ආණ්‌ඩුව ක්‍රියාකරන්නේ කෙසේද යන්න අපි බලා සිටිමු.

සිංහල ඉඩම් අයිතිය අහෝසි වුවහොත් එය රටම යළි අස්‌ථාවර කරන ජාතික සංහිඳියාව දැඩි ලෙස බිඳහෙළන වාතාවරණයක්‌ නිර්මාණය කරන බව නොකියාම බැරිය. මහජාතිය නොසලකා හැර සුළු ජාතීන් සතුටු කර රටට ඉදිරි ගමනක්‌ නැත. එම නිසා අසාධාරණ ලෙස උතුරේ සිංහලයන්ගේ ඉඩම් අයිතිය නැති නොකළ යුතුය. එසේ වුවහොත් එය ආණ්‌ඩුවට පාරාවළල්ලක්‌ වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *