දේශපාලන

දෙමළ සන්ධානයේ ඉල්ලීම් ලබා දීමට එරෙහිව පාරට බහිනවා – මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

අගමැතිවරයා තමන්ගේ පුටුව රැක ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් 10 ලබා දෙන්නේ නම්, ඊට එරෙහිව පාරට බැසීමට ජාතිකවාදීන් සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පවසා සිටියේ ඊයේ (10 දා) “එළිය” සංවිධානය විසින් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.
 
 රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය ජයග්‍රහණය කළත්, ඒ මහතා පිළිබඳව පැවති විශ්වාසය භංග වී තිබෙනවා. මොකද විශ්වාසභංගය නිසා ඔහු රට පාවාදීමට වුවත් සූදානම් බව හෙළිදරව් වී තිබෙනවා. ඒ වගේම තමන්ට ප්‍රශ්නයක්‌ නැතිනම් රටට මොනවා වුණත් කමක්‌ නෑ කියල ඒ මහතා සිතන බවත්, රටට සහ ලෝකයට ඔප්පු වෙලා ඉවරයි.
 
 සෙල්වම් අඩෙක්‌කලනාදන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරල තිබෙනවා වික්‍රමසිංහ මහතාගේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා සහයෝගය ලබා දුන්නේ කොන්දේසි 10 ක්‌ යටතේ කියලා. එම කොන්දේසි තමයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර 2/3 ක ඡන්දයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීම, හමුදා කඳවුරු ඉවත් කර එම ඉඩම් දෙමළ ජනතාවට ලබාදීම, දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක්‌ ලබාදීම, අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන ලබාදීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල රැකියා දකුණේ තරුණයන්ට ලබා නොදීම, උතුරු සහ නැගෙනහිර දිස්‌ත්‍රික්‌ සඳහා දෙමළ දිසාපතිවරු පමණක්‌ පත්කිරීම ආදියයි.
 
 ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා ඒ පිළිබඳව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබෙනවා කලිනුත් එම යෝජනා ඉදිරිපත් වූ බව. එම ප්‍රකාශයෙනුත් පැහැදිලි වනවා එම ඉල්ලීම්වලට මේ වන විටත් එකඟතාව පළවී තිබෙන බව. 2013 දී සිංගප්පූරු එකඟතා නමින් ඉදිරියට ආපු යෝජනා තමයි මේ නැවතත් ඉදිරිපත් වී තිබෙන්නේ. 
 
 එම යෝජනාවලට එකඟතාව පළ කළ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගය පරාජය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දුන්නා. එම ඉල්ලීම් ගෝත්‍රවාදියි. එම ඉල්ලීම්වලින් අවධානය යොමු කරල තිබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පිළිබඳව පමණයි. නමුත් සියලු ජනතාවගේ අයිතීන් ආරක්‌ෂා කළ යුතු බව අපි කියනවා. වෙන්කරල සුරක්‌ෂිත කළ යුතුයි කියන එක තුළ වෙනස්‌ විධියට සලකන බව කියනවා. එය ගෝත්‍රික ලෙස සැලකීමක්‌. දකුණේ අයට උතුරේ පත්වීම් නොදිය යුතුයි කියන එකත් ගෝත්‍රවාදී ඉල්ලීමක්‌. දකුණේ කවුරුත් කියනවද උතුරේÊඅයට දකුණේ රැකියා දෙන්න එපා කියලා. විග්නේශ්වරම් කොහේද රැකියාව කළේ? කොළඹ. මේ හදන්නේ ජාතිවාදය ඇති කිරීමට. මෙම ඉල්ලීම් තුළ රට ජාතිවාදී මහා කෝලාහලයක්‌ කරා රැගෙන යැමේ මූලයන් තිබෙනවා. උතුර, දකුණ කියන්නේ මේ රටේම කොටස්‌. මේ රට පළාත්වලට බෙදල තිබෙන්නේ පරිපාලන පහසුව සඳහා පමණයි. 13 වැනි සංශෝධනයටත් රට නොබෙදීම සඳහා වගන්ති කිහිපයක්‌ම දමා තිබෙනවා. සිංහල ජාතිවාදයන් පිළිබඳව කතා කරන ඔඩොක්‌කු කුක්‌කෝ මෙම යෝජනා පිළිබඳව මොකද්ද කියන්නේ.
 
 පසුගියදා මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා සුළු ජාතීන්ගේ ඡන්දවලින් 80% ක්‌ සහ මහ ජාතියේ ඡන්දවලින් 30% ක්‌ ලැබුණොත් ප්‍රමාණවත් කියලා. මේ ආකාරයට සුළු ජාතීන් සතුටු කිරීම සඳහා කරන දේ නිසා ඇති වන ආතතිය පිළිබඳව වගකිව යුතුයි. දිගන ප්‍රදේශයේ ඇතිවුණ ආකාරයේ සිදුවීම් ඇති වන්නේ එම නිසා තමයි.
 
 පසුගියදා නුවර ප්‍රදේශයේ කලබල ඇතිවූ අවස්‌ථාවේදී මටත්, ඉඳුරාගාරේ ධම්මරතන හිමිටත්, ඇල්ලේ ගුණවංශ හිමිටත් එම ප්‍රදේශයට වැඩම කරන ලෙස ජනාධිපතිතුමා ආරාධනා කළා. එම අවස්‌ථාවේදී ඇතිවී තිබෙන තත්ත්වයට ආණ්‌ඩුව වගකිව යුතු බව අප ප්‍රකාශ කළා. එම නිසා අප ප්‍රකාශ කරනවා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් 10 ය දණ්‌ඩනීය ආරාධනයක්‌ බව. උතුර නැගෙනහිර දිස්‌ත්‍රික්‌ 8 සඳහා දෙමළ ජාතික දිසාපතිවරුන් පත්කළ යුතු බව ප්‍රකාශ කිරීමත් වැරැදියි. අපි එහෙම කියනවද? නමුත් මේ සුළු ජාතික නායකයන්ට අවශ්‍ය රට කැඩීම. හමුදාව ඉවත් කරන්න කියන්නේ ඒ සඳහා. අනෙක්‌ ප්‍රදේශවල ජනතාවත් ඒ ආකාරයට කටයුතු කළොත් හමුදාව තියන්න වෙන්නේ මුහුදේ.
 
 දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලියට එකඟ වෙලා තමන්ගේ පුටුව රැක ගැනීමට කටයුතු කරනවා නම් ජාතිකවාදීන් හෙට පාරට බසිනවා. 
 
 මෙම යෝජනාවලිය තුළ හංගලා ගැහිල්ලක්‌ තිබෙනවා. එම යෝජනාවල තිබෙනවා 2/3 කින් ව්‍යවස්‌ථාව සම්මත කිරීමට කටයුතු කළ යුතු බව. 
 
 නමුත් අපි දන්නවා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සඳහා ජනමත විචාරණයක්‌ අවශ්‍ය බව. එහෙම නම් 2/3 කේ ඡන්දයෙන් සම්මත කරන ව්‍යවස්‌ථාවක්‌ ගැන සඳහන් කරන්නේ ඇයි? මේ කියන්නේ 13 වැනි සංශෝධනයෙන් රට කැඩීමට තිබෙන අඩ ටික ඉවත් කරන්න කියන එක. එම යෝජනා ක්‍රියාත්මක කළොත් මෙරට ඉන්දියාවටත් වඩා පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත් වෙනවා. අලුත් ව්‍යවස්‌ථාවක්‌ සහිත මෙම අවස්‌ථාවේදී ඊළාම් රාජ්‍යයක්‌ ලබාගත නොහැකි නිසා දෙවන තේරීම ලෙස පළාත් සභා හරහා ඊළමක්‌ ලබා ගැනීමට සූදානම් වනවා. මේ යන්නේ බෙදුම්වාදය සඳහා ගමනක්‌.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *