ගොසිප් දේශපාලන

රණවිරුවන්ට යුද අපරාධ ලේබල් අලවන අලුත්ම මෙහෙයුම

දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වික රටවලට ජය අත්වීමත් සමඟ වසර 1945 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ අනාගත ලෝක සාමය තහවුරු කිරීම මූලික අරමුණක්‌ කර ගනිමිනි. 
 
 එහෙත් එසේ බිහිවූ එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හමුවේ ලොව භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය යෑයි කී එල්ටීටීඊය පරාජය කිරීම හමුවේ ශ්‍රී ලංකාවට අද අත්ව තිබෙන්නේ කුමන ඉරණමක්‌ද?
 
 ඒ පිළිබඳ කතා කිරීමද ලැඡ්ජාසහගතය. ශ්‍රී ලංකා හමුදා විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පරාජය කළ ලොව එකම මානුෂීය මෙහෙයුම නිමවී වසර නවයක්‌ ගතව තිබියදී ඔවුහු අදටත් අපට කරන කෙනහිලිකම් බොහෝ වන්නාහ. 
 
 එල්ටීටීඊයේ පරාජයට පෙර සිටිම ඒ ආරම්භය ඔවුන් ගෙන තිබිණි. එහිදී අපට කළ බලපෑම් සහ අතපෙවීම් බොහෝ විය. ඒ සියල්ල තිබුණේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති මාලාවෙන් පිටතය. වැදි බණ න්‍යායෙන් බොහෝ දේ සිදුවිය. සෑම විටම ඔවුන් අපට දුන්නේ කැකිල්ලේ තීන්දුය. 
 
 යුද ජයට පෙර මන්දගාමී ලෙස කෙරුණු එකී අවැඩ යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්‌ ගෙනදෙමින් ඉතාම තිව්‍ර ලෙස ක්‍රියාවට නැංවීය. එහිදී ඔවුන් මුලින්ම කළේ ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු ශ්‍රී ලංකා හමුදාවන් මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් හතළිස්‌ දහසක්‌ ඝාතනය කළේයෑයි පවසමින් මානව අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා නැගීමය. 
 
 මුලින්ම එය චෝදනාවක්‌ පමණක්‌ විය. පසුව එකී චෝදනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ සම්මත කරවීමටද ඔවුහු කටයුතු කළහ. ඇමරිකා එක්‌සත් ජනපදය එය කොමිසම හමුවට ගෙන එනු ලැබීය. 
 
 මෙසේ බලගතු යෝජනා ලෙස චෝදනා එල්ල වීමේදී සාමාජික රටක්‌ ලෙස ශ්‍රී ලංකාව එවැන්නක්‌ සිදු නොවූ බවට කොතෙක්‌ පෙන්වා දුන්නද එය පිළිගැනීමට ඔවුන් මැලි විය. 
 

මෙහිදී දක්‌නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ අවසන් සටනේදී මෙරට සිට විදේශයන්ට පලා ගිය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සහ කොටි හිතවාදී විදේශගත දෙමළ ඩයස්‌පෝරාව මෙන්ම වත්මන් ඡායා ඊළමේ ප්‍රබලයන් එක්‌සත් ජාතීන්ගේ සාක්‌ෂිකරුවන් බවට පත්ව සිටීමය. 
 
 ඇමරිකාව විසින් ඉකුත් 2014 වසරේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි එකී යෝජනාව එලෙස සම්මත කරගැනීමෙන් පසු අද වන විට එයට දැඩි ස්‌ථාවර බවක්‌ ඇතිකර ගැනීමටද ඔවුහු සමත්ව සිටින්නාහ. 
 
 එකී ස්‌ථාවර බව ඇතිවන්නේ යහපාලනයේ ආගමනයත් සමගිනි. ඉකුත් 2015 වසරේ අවසන් කාර්තුවේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට යන යහපාලනයේ පළමු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අදාළ යෝජනාවට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සම අනුග්‍රහය දැක්‌වීම එකී ස්‌ථාවරභාවයට හේතු විය. 
 
 ඇතැමුන් නම් දැනටත් කියන්නේ මංගල සමරවීර මහතා එය සිදු කර ඇත්තේ යහපාලන ආණ්‌ඩුවේ අනුදැනුමකින් නොවන බවකි. එහෙත් එසේ සිදු කරද්දී ඔහු රටේ විදේශ ඇමැතිවරයාය. හෙතෙම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට යන්නේද ශ්‍රී ලංකාවේ නිල නියෝජිකයකු ලෙසිනි. එනිසා රට රවටන්නට කුමක්‌ කීවද දැන් වැඩේ සිදුවී හමාරය.
 
 මෙසේ ශ්‍රී ලංකා මාතාවට එරෙහිව ශ්‍රී ලංකා රජය හෙවත් යහපාලනයම අත ඔසවද්දී එකී යෝජනා සම්මතයෙන් පසු ඔවුන් අපට චෝදනා එල්ල කරන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකිරීම සඳහා කොන්දේසි මාලාවක්‌ ඉදිරිපත් කිරීමද සිදුවිය.
 
 එකී කොන්දේසි අතර ඇති ප්‍රධාන සහ භයානකම කරුණු කිහිපයක්‌ ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ මෙන්ම යුද අපරාධ වෙනුවෙන් යුක්‌තිය පසිඳලීමට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ වෙත ගමන් කළ යුතු යෑයි යන්න පෙන්වා දිය හැකිය. 
 
 ආණ්‌ඩුව අදටත් කියන්නේ හෙවත් පුරසාරම් දොඩවන්නේ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකට කිසිසේත් එකඟ නොවන්නේ යෑයි කියාය. එය එසේ වුවද මේ වන විටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට බොහෝ වෙහෙසෙන යහපාලනය අතුරුදන් වූවනගේ කාර්යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු එම කාර්යාලයද ස්‌ථාපිත කර අවසන්ව ඇත. 
 
 එහි සාමාජිකයන්ට ඕනෑම හමුදා කඳවුරක්‌, පොලිසියක්‌ ආදී වශයෙන් වූ රාජ්‍ය ආයතනවලට පූර්ව දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව ඇතුළු වීමේ අධිකාරී බලයක්‌ හිමිව තිබීම මෙහිදී විශේෂිතය. එසේම එය අතිශය භයානක බව බහුතරයේ මතය ය.
 
 මේ අනුව දැන් ඇමැති මංගල සමරවීර මහතාගේ සම අනුග්‍රහයෙන් පසු එක්‌සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ යෝජනා මාලාව අතරින් ඉහත පෙන්වා දුන් යෝජනා ත්‍රිත්වයෙන් යහපාලනය ලවා ක්‍රියාත්මක කරවීමට ඉතිරිව ඇත්තේ විදේශ අධිකරණ ක්‍රියාවලියක්‌ යන්න පමණකි. 
 
 පසුගිය දිනවල ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු ඇතැම් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් තරයේ ප්‍රකාශ කරනු ලැබුවේ එවැන්නකට ඉඩ නොදෙන බවය. එය දැනට සත්‍යයකි. මන්ද මෙකී ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය යන්න ක්‍රියාත්මක කිරීමට නම් පළමුව යුද අපරාධකරුවන් හඳුනාගත යුතුය. 
 
 මේ ගෙවමින් තිබෙන්නේ එකී කාලසීමාව බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. එතැනට අද යහපාලන පොලිසියද තල්ලුවී සිටින්නේ කණගාටුදායක ලෙසිනි.
 
 වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණීමෙන් පසු ආරම්භ කරනු ලැබූ එක්‌නැලිගොඩ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට හා මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම ආදී විශයෙන් වූ විවිධ විමර්ශන ඔස්‌සේ මේ දක්‌වාම සිදුවෙමින් තිබෙන්නේ රට බේරාගත් රණවිරුවනට අපරාධකරුවන් යෑයි ලේබල් ඇලවීම නොවේද? 
 
 මෙම විමර්ශන අතරින් බොහොමයක්‌ ඒවා මේ වන විට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්‌වාම විහිදී ගොස්‌ අවසන්ය. පසුගිය දිනවල යළි කරළියට පැමිණි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනයේදී ඒ බව යළිත් පැහැදිලි විය. 
 
 මේ වන විට රහස්‌ පොලිසිය එකී විමර්ශනය දියත් කර ඇත්තේ දුරකථන සංවාද පෙළක්‌ ඔස්‌සේය. එහි එක්‌තැනකදී කීත් නොයාර්ගේ පැහැරගැනීම වාර්තා වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඒ මොහොතේම හිටපු ජාතික බුද්ධි ප්‍රධානී කපිල හේනදවිතාරණ මහතාට ඇමතුමක්‌ ලබාදී ඇති බව පොලිසිය පුන පුනා කියන්නකි. 

 

එහෙත් ගෝඨාභය මහතා හෙන්දවිතාරණ ඇමතීමෙන් පසු ඒ සමගම එවකට බස්‌නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති වික්‍රමරත්න මහතාටද ඇමැතුමක්‌ ලබාදී ඇති බවක්‌ විමර්ශකයෝ නිකමටවත් නොකියති. ඒ කුමක්‌ නිසාද? එසේම මෙවන් සිදුවීමක්‌ සැලවූ වහා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ යුත්තේ කුමක්‌ද යන්නද ඔවුහු ඉස්‌මතු නොකරති. 
 
 මේ අන්දමට එක්‌පැත්තකින් අද පොලිසිය හරහා එසේ කටයුතු සිදු කෙරෙද්දී තවත් පැත්තකින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම උපක්‍රමශීලීව මේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවන්ට යුද අපරාධකරුවන් යෑයි ලේබල් අලවමින් සිටින්නේ සියල්ලන බලා සිටියදීය. 
 
 ඔවුන් බැලූ බැල්මට කුමන්ත්‍රණයක්‌ යෑයි පෙනී යන එකි කටයුත්ත සිදු කරමින් සිටින්නේ ශ්‍රී ලංකා හමුදා එක්‌සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියට මුවා වීමෙන්ය. මේ වන විට සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් එක්‌කර ගැනීමේදී ඔවුන් පිළිබඳ දැඩි විමර්ශනයක යෙදීමට ඔවුහු පෙළඹී සිටිති. 
 
 යුද්ධය පැවති කාලයේදීත් අපේ හමුදා විරුවන් එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ විය. එහෙත් එදා අද මෙන් කොන්දේසි නොතිබිණි. දැන් එය එසේ නොවේ. ශ්‍රී ලංකා හමුදා සමාජිකයකු සාමාසාධක මෙහෙයුම්වලට එක්‌වන්නේ නම් ඔහු එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී සටන් පෙරමුණේ සිටියකුද යන්න සොයා බැලීම එක්‌සත් ජාතීන්ගේ ක්‍රමය වී තිබේ.
 
 සටන් පෙරමුණේ සිටියකු නම් සාමසාධක මෙහෙයුම්වට ඔහු නුසුදුස්‌සකු වේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ තීරණය මගින් කියා සිටින්නේ ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටනේදී පෙරමුණට ගිය අපේ සියලුම රණවිරුවන් යුද අපරාධකරුවන් යෑයි යන්න නොවේද?
 
 මෙය පෙන්වා දීමට ඇති හොඳම උදාහරණයක්‌ ලෙස මේ වන විට යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන් කර්නල් වසන්ත හේවගේ ඇතුළු රණවිරුවන් 106 දෙනකුට සිදුව ඇති අසාධාරණය දැක්‌විය හැකිය. ලුතිනන් කර්නල් වසන්ත හේවගේ ඇතුළු රණවිරුවන් 152 දෙනකු එක්‌සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමක්‌ සඳහා විදේශගත වීමට නියමිතව තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. 
 
 ඒ අනුව පෙබරවාරි මැදදී ඉන් 46 දෙනකු සාමසාධක මෙහෙයුමට එක්‌වීම සඳහා මෙරටින් පිටත් විය. මේ අතරේ ලුතිනන් කර්නල් හේවගේ ඇතුළු පිරිස පිටත්ව යැමට පෙර විදේශගත කොටිහිතවාදී දෙමළ ඩයස්‌පෝරාව හරහා එක්‌සත් ජාතීන්ට පැමිණිල්ලක්‌ ඉදිරිපත් විය. 
 
 ඉන් කියෑවී ඇත්තේ ලුතිනන් කර්නල් හේවගේ ඉකුත් මානුෂීය සටනේදී කිලිනොච්චි නගරය එල්ටීටීඊයෙන් මුදා ගැනීමේ යුද පෙරමුණේ සිටිමින් විශාල කාර්යභාරයක්‌ සිදු කළ නිලධාරියකු යෑයි යන්නය. ඒ සමගම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සාමසාධක මෙහෙයුමට එක්‌වීමට සිටි ඔවුන්ගේ ගමන වැලකීය. 
 
 එසේම මේ වන විට පිටත්ව ගිය රණවිරුවන් 46 දෙනා ආපසු එවීමට සැරසෙන බවක්‌ද ඊයේ (16 වැනිදා) වාර්තා විය. එසේ නම් එක්‌සත් ජාතීන් ව්‍යංගයෙන් මේ කියන්නේ කිලිනොච්චිය කොටින්ගෙන් මුදා ගත් ලුතිනන් කර්නල් වසන්ත හේවගේ මෙන්ම මේ ගමන යන්නට සිටි සියලු රණවිරුවන් යුද අපරාධකරුවන් යෑයි යන්න නොවේද? මේ සිදු වන්නේ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ සඳහා යුද අපරාධකරුවන් ලෙස රට බේරාගත් රණවිරුවන්ට ලේබල් ඇලවීමක්‌ නොවේද?
 
 මෙහිදී එකී රණවිරුවන්ට අහිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳ වගකියන්නේ කවරෙක්‌ද? මෙහි අවසානය කුමක්‌ විය හැකිද? මේවා දැන් උත්තර නැති ප්‍රශ්නය. ගෙවෙන තත්පරයක්‌ පාසා එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ශ්‍රී ලංකාවට නොයෙකුත් කෙනහිලිකම් කරන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ කඩකරන්නේ රට බේරාගත් රණවිරුවන්ගේ මානව හිමිකම් නොවේද?
 
 කෙසේ වෙතත් මේ ගැටලුවට විසඳුමක්‌ ලෙස යුද හමුදාව තුළ විදේශ මෙහෙයුම් අධ්‍යකක්‍ෂ මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කිරීමට ඉකුත් සතියේ කටයුතු කෙරිණි. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුවය. මෙජර් ජෙනරාල් මර්වින් පෙරේරා එහි ප්‍රථඹ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස පත්විය.
 
 මෙහෙයුම්, මානව හිමිකම්, පුහුණු සහ භටකාර්ය සම්පාදනය යන අංශ හතරක්‌ යටතේ ක්‍රියාත්මක එකී අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මගින් ඉදිරියේදී එක්‌සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා හමුදා සාමාජිකයන් යෙදවීම සිදුකිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හරහා එක්‌සත් ජාතීන්ගේ නිර්දේශ ලබාගැනීමෙන් පසු හමුදා සාමාජිකයන් එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා තෝරාගෙන යොමු කිරීම විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ කාර්යභාරය වී ඇත.
 
 මෙය අගය කළ යුත්තකි. යුද හමුදාපතිවරයා මේ ගෙන ඇත්තේ අවශ්‍යම මොහොතේ අවශ්‍යම වූ තීරණයකි. එහි කිසිදු ගැටලුවක්‌ නැත. එහෙත් මෙම නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ මේ වන විට ලුතිනන් කර්නල් වසන්ත හේවගේ ඇතුළු රණවිරුවන්ට සිදුව ඇති අසාධාරණයෙන් ඔවුන් ගලවා ගැනීම බව අපේ විශ්වාසය ය.
 
 මෙම නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මගින් සාමසාධක රාජකාරීන් සඳහා යොමු කෙරෙන්නේ තෝරාගත් හමුදා සාමාජිකයන් පමණක්‌ බවද ඉකුත් සතියේ මේ පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. එසේ නම් තෝරා නොගන්නා පිරිස වන්නේ කවුරුදන්ද? ඔවුන් එසේ තෝරා නොගන්නේ යම් අසමත්කමක්‌ හේතුවෙන් නම් එහි කිසිදු ගැටලුවක්‌ නැත. එසේ නොමැතිව ඔවුන්ට එරෙහිව චෝදනා තිබේ යෑයි යන ලේබලය එම රණවිරුවන්ට ඇලවීමක්‌ නම් සිදු නොවිය යුතුය. 
 
 ඉකුත් මානුෂීය මෙහෙයුමේදී අපේ හමුදා අපරාධ කළේ නැත. එනිසා චෝදනා ඇති හමුදා සාමාජිකයන් ඇත්තේද නැත. යමෙකු එවන් චෝදනාවක්‌ මතු කරන්නේ නම් ඒ තුළ අසත්‍යය මිස සත්‍යය නොවන බව කියන්නට අපට හැකිවිය යුතුය. අපට එසේ කියන්නට කොන්දක්‌ තිබිය යුතුය. 
 
 එසේ නොමැතිව එක්‌සත් ජාතීන්ගේ පදේට නටමින් ඔවු 0න්ගේ ඩොලර් කුට්‌ටිය දෙස බලා අපේ විරුවන් අපම පාවා දීමක්‌ නම් මෙකී නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් සිදු නොවිය යුතුය. අප මෙහිදී එසේ කියන්නේ යහපාලනය පැමිණි දා සිට හැමතැනකදීම සිදුවුණේ කොඳු කඩාගෙන දෙකට නැවීම මිස අයුක්‌තියට එරෙහිව නැගී සිටීමක්‌ නොවන නිසාය. පාවා දීම මිස අන් දෙයක්‌ නොදුටු නිසාය. 
 
 
 සමන් ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *