තිරය පිටුපස දේශපාලන

උතුර , නැඟෙනහිර පන්සල් තැනීම තහනම් – සුමන්තිරන්

දෙමළ සන්ධානය යළිත් වරක්‌ රට ගිනි තැබීමට සැරසෙන බව පෙනේ. ඒ උතුර – නැඟෙනහිර පළාතේ බෞද්ධ විරෝධය අවුලවමිනි. එදා එළුග තමිල් හෙවත් දෙමළුනි නැගිටිව් ව්‍යාපාරය හරහා උතුරේ බුදු පිළිම තැන්පත් කිරීමට එරෙහි වූයේ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ය. මෙවර දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුර – නැඟෙනහිර පන්සල් තැනීම තහනම් කළ යුතු බවය. උතුර – නැඟෙනහිර පන්සල් තැනීම තහනම් කිරීමට දෙමළ සන්ධානයට විශේෂ බලයක්‌ ලබා දී ඇත්ද? නැත්නම් මෙවැනි ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කුමක්‌ද? මෙය සැබැවින්ම රටේ සංහිඳියාව විනාශ කරන ආගමික ගැටුම් ඇති වීමට තුඩුදෙන ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශයකි. මේ බෞද්ධ විරෝධය අවුලවා රටට ලබාදෙන පණිවුඩය කුමක්‌ද? දකුණේ දේශපාලකයෙක්‌ සිංහල ප්‍රදේශවල කෝවිල් හැදීමට විරුද්ධ විය යුතු යෑයි කියා සිටියහොත් වහාම කොළඹ කොටුවට පැමිණ උද්ඝෝෂණය කරන රාජ්‍ය නොවන සංවිධාන නඩය දෙමළ සන්ධාන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට එරෙහිව දක්‌වන ප්‍රතිචාරය කුමක්‌ දැයි අපි බලා සිටිමු. සුමන්තිරන්ගේ පක්‍ෂයේ නියෝජිතයෝ පසුගියදා මුලතිව් සම්බෝධි විහාරයට ඇතුළු වූයේ බලහත්කාරයෙන් මෙනි. එසේම මොවුන් නාගදීප විහාරස්‌ථානයට ගොස්‌ ඇති බවට තොරතුරු වාර්තා පළවිය. අන්‍යාගමිකයන් බෞද්ධ විහාරස්‌ථානවලට කඩා පනින්නේ බුදුන් වැඳීමට නොවන බව පැහැදිලිය. මෙය පැහැදිලි තර්ජනයකි. බෞද්ධයන්ගේ මූලික අයිතිය කඩ කිරීමකි. මෙරට බහුතරය මේ නොපනත්කම් හමුවේ නිහඬව සිටිය යුතුද? බෞද්ධයා බිත්තියට හේත්තු කිරීමෙන් දෙමළ සන්ධානය ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට සිතන්නේ නම් එය නම් මුලාවකි.

ඇත්තෙන්ම සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ගැන රජයේ ස්‌ථාවරය හෙළි කළ යුතුය. දෙමළ සන්ධානයේ චණ්‌ඩිකම් හමුවේ යහපාලනය නිහඬව සිටිය යුතු නැත. උතුරේ විහාරස්‌ථාන ඉදිකිරීම නැවැත්වීම විශ්වාසභංගයට එරෙහි වීම නිසා ලබන අනිසි වරප්‍රසාදයක්‌දැයි අපි නොදැනිමු. කවරක්‌ නමුත් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ලබාගත හැකි දේශපාලන ජයග්‍රහණයක්‌ නොමැති බව මෙම මහත්වරු තේරුම් ගත යුතුය. උතුර නැගෙනහිර ප්‍රදේශවල වසර දහස්‌ ගණනක්‌ පැරැණි බෞද්ධ නටබුන් විසිර පැතිර තිබේ. දෙමළ සන්ධානය සතුටු වන්නේ ඒවාත් උගුල්ලා දැමීමෙන්ද?

ප්‍රභාකරන් ජීවත්ව සිටියදී පවා උතුර – නැගෙනහිර විහාරස්‌ථාන කඩා බිඳ දැමිය යුතු යෑයි ප්‍රකාශ කළේ නැත. නමුත් මේ කළුකෝට්‌ ඇඳගත් මහත්වරු ප්‍රකාශ කරන්නේ කුමක්‌ද?

උතුර – නැගෙනහිර බෞද්ධ විහාරස්‌ථාන ඉදිකිරීම දෙමළ ජනයාට ඇති ප්‍රමුඛතම ප්‍රශ්නයයෑයි සිතන්නේනම් එය මුලාවකි. සුමන්තිරන් මන්ත්‍රීවරයාට අනුව නම් උතුර – නැඟෙනහිර දෙමළ ජනයාට ඇති ප්‍රමුඛතම ප්‍රශ්නය වන්නේ මේ පන්සල් කිහිපයයි. දෙමළ වැසියන් නම් කිසිම අවස්‌ථාවක බෞද්ධ විරෝධයක්‌ මතුකර නැත. එහෙත් දෙමළ සන්ධානය මේ බෞද්ධ විරෝධය මතු කරන්නේ සිය ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීමටය. වෙසක්‌ සතියේ යාපනයේ පැවැත්වුණු වෙසක්‌ කලාපය නැරඹීම සඳහා දහස්‌ ගණනින් ජනයා ඇදී එනු දක්‌නට ලැබිණි. වෙසක්‌ කලාපයට එලෙස ජනයා රොක්‌වන්නේ නම් ඔවුන් තුළ බෞද්ධ විරෝධයක්‌ නැති බව පැහැදිලිය. නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයාට නම් පන්සල් අරහං වී ඇත. ඔහුගේ මේ ප්‍රකාශ සැබැවින්ම ව්‍යවස්‌ථා විරෝධීය. එය දඬුවම් ලැබිය යුතු ප්‍රකාශයකි. නමුත් මේ ගැන ආණ්‌ඩුව මුණිවත රැකය යුතු නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *